කුඩා කළ පටන් අපට ජීවිතය රසවින්දනය කියා දුන් ඇදුරිදුනි ඔබට ඔබගේ ලිපිය උපහාරයක් වේවා.....
බුදුන් ඇගැයූ.......පන්සිළු පෙම් ගීය
එක් කලෙක බුදුහු ඉන්දසාල නම් ගුහාවේ වැඩ වෙසෙති. එවක බුදුන් හමුව පැන විචාරීමක් කරනට රිසිවූ සක් දෙව් තම ගඳඹ පන්සිළු අමතයි.
"පන්සිළුච, බුදුන් හමුවට මා එක් වරම යාම නොමනායි. ඔබ පළමු ගොස් බුදුන් සිත පහදා ලනු මැනැවි."
ඉන්දසාල ගුහාවට ගිය පන්සිළු බුදුන් අබියස එකත්පස්ව හිඳ තම බෙලි පැහැ වෙණ වයමින් ගීයක් ගයයි. එය ඇසූ බුදුහු පන්සිළු අමතති.
"සංසන්දති ඛෝ පන තේ පංචසිඛ තන්තිස්සරෝ ගීතස්සරේන
ගීතස්සරෝච තන්තිස්සරේන. නච පන තේ පංචසිඛ තන්තිස්සරෝ
අතිවණ්ණති ගීතස්සරං. ගීතස්සරෝවා තන්තිස්සරං. කදා සංයූළ්හා පන තේ පංචසිඛ ඉමා ගාථා බුද්ධූපසංහිතා ධම්මූපසංහිතා අරහන්තූපසංහිතා කාමූපසංහිතාති."
" පන්සිළුව, ඔබේ වෙණ තත් සර ගී සර සමගද ගී සර වෙණ තත්
සර සමගද මනාව සැසඳෙයි. ඔබේ වෙණ තත් සර ගී සර ඉක්මවා නද නොදෙයි. ගී සරද වෙණ තත් සර ඉක්මවා නද නොදෙයි. පන්සිළුව, ඔඛ බුදුන් ඇසුරු කොටද දහම් ඇසුරු කොටද රහතුන් ඇසුරු කොටද කාමය ඇසුරු කොටද ගැයූ මේ ගී කවදා ගෙතුවේද?"
බුදුන්ට පන්සිළු පිළිතුරු දෙයි.
"හිමියෙනි, බුදු වුණු මුල් කලම එක් අවදියක ඔබ වහන්සේ උරුවෙල් දනව්හි නිල්දලා හෝ තෙර අජපල් නුග රුක මුල වැඩ සිටින කල භද්‍රා නම් එක් සොඳුරු යුවතියක් ළහිරු මඬල සේ දිළෙන තම සිරුර නිසා සුරියවච්චසා නමින් පරසිඳුව උන්නා. තිම්බරු නම් ගඳඹ රජ දුව වන ඇයටයි මා එකල පෙම් කළේ. ඒත් ඇය පෙම් කළේ සක් දෙව් රියැදුරු මාතලී පුත් සිඛන්ඩිටයි. එය දන්නා මම මේ ගී පබඳා මගේ වෙණද රැගෙන තිම්බරු ගඳඹ රජ මැදුර අසලට ගොස් එය වයමින් ඒවා ගැයුවා."
පෙළ බසින් වූ එම පන්සිළු ගී ඔබේ පහන් සංවේගය පිණිස මෙසේ හෙළ පැදියට නගම්හ.
වන්දේ තේ පිතරං භද්දේ
තිම්බරුං සුරියවච්චසේ
යේන ජාතාසි කල්‍යාණි
ආනන්ද ජනනී මම
ළා හිරු මඩල මෙන් රැස් විහිදෙන
බඳැතී
මා සිත සතුට පොබයන සොඳුරියෙ
රුවැතී
මේ ලොව ඔබේ දිවි බිහි කළ පින
අයිතී
ඒ ඔබෙ පියා නමදිමි තිම්බරු
නමැතී
වාතෝව සේදනං කන්තෝ
පානීයංව පිපාසිනෝ
අංගීරසි පියාමේසී
ධම්මෝ අරහතා මිව
ගිමනින් දැවෙනවුන් හට ඇල්
පවන් මෙන
පවසින් පෙළෙනවුන් හට පැන්
පොදක් මෙන
රහතුන් හැමට ලොව්තුරු දම්
රසක් මෙන
සැනසෙම් ලඳුනි මම් ඔබගෙන්
කැලුම් දෙන
ආතුරස්සේව භේසජ්ජං
භෝජනංව දිඝච්ඡතෝ
පරිනිබ්බාපය භද්දේ
ජලන්තමිව වාරිනා
රෝ දුක ඇති අයට සුව දෙන
ඔසුව මෙන
සා දුක ඇති අයට රස පිරි
බොදුන මෙන
ආලය වඩන්නියෙ රුව දිළි
ළහිරු මෙන
මා සිත නිවනු දිය ඉස ගිනි
නිවන මෙන
සීතෝදකිං පොක්ඛරණිං
යුතං කිංජක්ඛ රේණුනා
නාගෝ සම්මාභිතත්තෝව
ඕගහේතේ ථනූදරං
නොහිම් ගිම් තැවුල් ගත් ඇතෙකු
හණිකට
පියුම් රොනැති සිහිලැල් දියැති
විලකට
එගිම් නිවා ගැන්මට බසින
විලසට
බසිම් ඔබ දෙතන අතරට
බඩතුරට
අච්චංකුසෝව නාගෝච
ජිතම්මේ තුත්ත තෝමරං
කාරණං නප්පජානාමි
සම්මත්තෝ ලක්ඛණූරුයා
කන් පා පෙළන අංකුස ඇනුම්
නොතකන
මදමත් ඇතෙකු විලසින් කිසිත් නොදැනෙන
මන් මත් වූ බැවින් ඔබෙ ළකල්
වටොරින
කම් පල විපා හැම මගෙ සිතින්
ගිලිහිණ
තයි ගථිත චිත්තෝස්මි
චිත්තං විපරිණාමිතං
පටිගන්තුං නසක්කෝමි
වංකඝස්තෝව අම්බුජෝ
ඇලුණෙම් සිතින් ඔබටම මම සෙනෙහසිනී
එතරම් ඇලුණු සිත දැන් විකලව
ගොසිනී
බිලියෙහි රැඳුණු මසෙකුට සම වන
ලෙසිනී
පසුවෙයි සිත මිදෙනු නොහැකිව ඔබ වෙතිනී
වාමූරු සජමං භද්දේ
සජමං මන්ද ලෝචනේ
පලිස්සජමං කල්‍යාණි
ඒතම්මේ අභිපත්ථිතං
සොඳ වටොරැති සොඳුර මා වැලඳ ගනු මැන
අඩ බැල්මෙන් බලා මා වැලඳ
ගනු මැන
කලණියෙ අත නෑර මා වැලඳ
ගනු මැන
එයමය මා පැතූ එක පැතුම
හැම දින
අප්පකෝ වත මේ සන්තෝ
කාමෝ වෙල්ලිත කේසියා
අනේක භාගෝ සම්පාදි
අරහන්තේව දක්ඛිණා
රැළි වරලින් සැදි ඔබ රුව දැක
ළඳුනේ
කම් ආසා බිඳකි පළමුව හට
ගැනුණේ
නොසිතූ විරූ ලෙස එය දින දින
වැඩුණේ
රහතෙකු හට පිදූ දානෙක පල
ලෙසිනේ
යං මේ අත්ථි කතං පුඤ්ඤං අරහන්තේසු තාදිසූ
තම්මේ සබ්බංග කල්‍යාණි
තයා සද්ධිං විපච්චතං.
එවන් උතුම් රහතුන් හට බැති
සිතින
මා කළ පින්කමක් ඇත්නම් පල
දරන
පිය කලණියේ හැම අඟ පසඟින
සොබන
එපින් පල විඳිමු එකටම අපි
දෙදෙන
සබ්බේ අත්ථි කතං පුඤ්ඤං
අස්මිං පුථුවි මණ්ඩලේ
තම්මේ සබ්බංග කල්‍යාණි
තයා සද්ධිං විපච්චතං



Comments
Post a Comment